සිංහල, දමිළ, මුස්ලිම් පාසල් දරුවන් සැකසු වෙසක් පහන් කුඩු 5000 කින් නුවරඑළිය ජාතික වෙසක් උත්සවයේ මාර්ග ආලෝකමත් කරමින් ආමිස පූජාවක් පැවැත්වීම ට සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාලව රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිස දැනුවත් කිරීම වෙනුවෙන් අද (23) දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දි පැවැති සාකච්ඡාවෙ දි දිස්ත්‍රික් ලේකම්තුමිය මෙම අදහස් පැවසීය.
එහිදී තව දුරටත් අනාවරණය වුයේ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් 154 දරු දැරියන් මෙම සද්කාරය සදහා එක්ව සිටින බවයි.
“භජේත මිත්තේ කල්යානේ“ – “කලණ මිතුරන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනිමින් නුවරඑළිය දි මැයි මස 10 දින සිට 16 දින දක්වා පුරා සතියක කාලයක් පැවැත්වීම ට සැලසුම් කර තිබේ.
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නගර ශාලාව කේන්ද්‍රය කරගැනිමින් ප්‍රධාන උත්සවය මැයි මස 10 වන පැවැත්වෙන අතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්‍රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් සිදු කිරීමට නියමිතය.
වෙසක් උත්සවය සංවිධානයට අදාලව ඒ ඒ කටයුතු සිදුකිරීම සම්බන්දව මෙහිදි සාකච්ඡා කිරීම සිදුවිය.
මෙම අවස්තාවට ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද හිමියන් ඇතුළු මහ සංඝරත්නය,නුවරඑළිය නාගරික කොමසාරිස් ඊ.එම්. බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිකා කවිසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිඳකුඹුර, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය යන මහත්ම මහත්මින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.


















