2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස (26) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ,ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ ලබන මස (25) දින ඉපැරණි චාරිත්‍ර අනුව මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත්, ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සලසන ලෙසත් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ
ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබාදිම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පසුගිය දා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.
මෙම සාකච්ඡාවට සහභාගි වු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කියා සිටියේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන සහ ආපසු ගමන් කරන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයෙන්ම නල්ලතන්නිය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, එම ප්‍රවේශපත්‍ර භාවිතා කරමින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ වලින් වන්දනාකරුවන් ප්‍රවාහනය කරන බවයි.
තවද ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කරන බව එම සාකච්ඡාවට සහභාගි වු හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් මහතා පැවසිය.
මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර , එම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි වුහ.





















