ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවනීය රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයේම ප්රගමනය සඳහා "සුපිළිපන් සංස්කෘතියක්-ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමා පාඨය පෙරදැරිව ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන "සුපිළිපන් ප්‍රතිඥාව" දිවුරුම්දීමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි සිදු කෙරිණි.
“ සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රීලංකාවක් ,, යන්න තේමා කරගනිමින් ජූලි මස 27 වන දින සිට ජූලි 31 වන දා දක්වා සතිය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහි පළමු දින අද වේ.
ජාතික ගීය ගායනා කිරිමේන් අනතුරුව සිංහල සහ දමිළ භාෂාවෙන් සුපිළිපන් ප්‍රතිඥාවට දිවුරුම් ලබාදිම සිදු විය.
එහිදී සියලුම රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරියේදී මහජන රාජ්‍ය සේවයේ ප්රගමනය වෙනුවෙන් ඔවුන් තුළ සිදුවන අඩුපාඩු හා දුර්වලතා හඳුනා ගනිමින්,ආදර්ශයෙන් වෙනස් වීමත්, පෞද්ගලික ලාභ ප්රයෝජනවලට වඩා පොදු මහජන යහපතට ප්‍රමුඛතාව ලබාදීමත්,මහ කිසිදු බාහිර අධීක්ෂණයකින් තොරව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සෑම විටම නිවැරදි හා සදාචාරාත්මක දේ පමණක් සිදු කිරීමටත්, ප්‍රතිඥා දුන්හ.
එමෙන්ම රාජ්‍ය සේවය පාරදෘෂ්‍යභාවය, වගවීම, මූල්‍ය විනය සහ නීතියට ගරු කිරීම යන වටිනාකම් රාජකාරියේ දී භාවිත කිරීමටත්, අල්ලස, දූෂණය ,නාස්තිය බැඳියාවන් අතර ගැටුම්, ඥාති සංග්‍රහ සහ අකාර්යක්ෂමතාවය සහමුලින්ම තුරන් කිරීමටත්,කැපවන බවටත් සෑම සේවා ලාභියෙකුටම කිසිදු භේදයකින් තොරව සමානාත්මතාවයෙන් හා කාරුණිකව සේවය සැපයීමට බැඳී සිටින බවටත්, මෙහිදී ප්‍රතිඥා දෙන ලදී.
ජාතික මෙහෙයුමක් ලෙස දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරිමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන් බලගැන්වීම මෙම වැඩටහනේ අරමුණයි.
මෙහිදී අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කලේ රාජ්‍ය සේවය සැමවිටම සුපිළිපන් නීති ගරුක සේවාවක් වන බවත්, එය රැකිම සෑම දෙනාගෙම වගකීම බවය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් සංවිධානය කල මෙම වැඩසටහන සදහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිකා කවිසේකර , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ශාලිකා ලිදකුඹුර, සැළසුම් අධ්යක්ෂ චමිලා රණසිංහ , ප්‍රධාන ගනකාධිකාරි පි. ඩි. දමයන්ති යන මහත්මින් ඇතුළු කාර්යාලයේ නිලධාරීන් සහභාගීවූහ.




















