ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම වෙනුවෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දිස්ත්‍රික් මට්ටමෙන් පවත් වන වැඩසටහන් මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන ,2024/05/27 වන දින එම සංගමයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය අරලිය රෙඩ් හෝටලයේදී පැවැත්විණ.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලදී ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් ලබාදීම සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පිහිටුවා එම සෑම කමිටුවකදීම ඔවුන්ගේ ගැටළු පිලිබද සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිවයින පුරා අබාධ සහිත පිරිස් සම්බන්ධයෙන් තොරතරු ඇතුලත් නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිවීමේ ගැටලුව පිලිබදව,දිස්ත්‍රික්කයේ ආබාධිත ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වියයුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන්විය.
මෙම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක , නිමල් පියතිස්ස කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරුන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ,ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් සභාපති රසාංජලි පතිරගේ මහත්මිය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම්වරුන්, නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් රාජ්‍ය නිලධාරීන් නුවරඑළිය දිස්ත්‍රික් ආබාධ සහිත වූවන්ගේ සංසදයේ නිලධාරීන් , සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය


























