පුවත් සහ සිදුවීම්

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්හට පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ඊ බයිසිකල් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන නුවරඑළිය දිස්ත්‍රික් සංචාරක සැලැස්මේ එක් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඊට අදාළ මූලික සාකච්ඡාවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලදී පැවැත්විණ.


දෙස් විදෙස් සංචාරකයන් සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන වෙත අඩු වියදමින් සහ පරිසර හිතකාමී අයුරින් ගමන් කිරීමට හැකි වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම විශේෂත්වයකි. නෙදර්ලන්තය වැනි විදෙස් රටවල මෙම ඊ බයිසිකල් සේවාව බහුලව භාවිතා කරන අතර සංචාරකයන්ගේ සිත් ඇදගත් ව්‍යාපෘතියක් වී ඇති බව මෙහිදී අනාවරණය විය. විදුලියෙන් මෙන්ම සාමාන්‍ය බයිසිකලයක් ලෙස ද ක්‍රියා කරන මෙම බයිසිකල් සඳහා සේවා සැපයීමේ ස්ථාන සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගෙන ආරම්භ කිරීමට නියමිතය.


මෙම අවස්ථාවට නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා,ලුමාලා ආයතනයේ ප්‍රධාන විධායක තාරික් මිෆාලාල් මහතා , ව්‍යාපාර සංවර්ධන කළමනාකරු හිරන්‍යා අතුකෝරාල මහත්මිය , නෙදර්ලන්තේ අලෙවි කළමනාකාර උපදේශක රිචර්ඩ් වෑන් නිව්වෙන්හෝවෙන් මහතා , එක්සත් රාජධානියේ බයිසිකල් සේවා සහ ව්‍යාපාර උපදේශක මාර්ක් විල් කොක්ස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය.

 

406050128 663246669305326 7293890966764697543 n406009187 663246775971982 6776591473584498714 n406011267 663246732638653 5554713118440328398 n406013711 663246762638650 3793076815461997077 n406017911 663246759305317 5642359466577119682 n