කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් දීප ව්‍යාප්ත මට්ටමෙන් සංවිධානය කරනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවේ (EDP) නුවරඑළිය දිස්ත්‍රික් පුහුණු වැඩසටහන පසුගිය දා නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේදී ආරම්භ විය.
නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයින් අතුරින් සම්මුඛ සහ ලිඛිත පරීක්ෂණයක් මගින් තෝරාගත් ව්‍යවසායකයින් 25 දෙනෙක් වෙනුවෙන් මෙම නේවාසික දින අටක පුහුණු වැඩසටහන ආරම්භ කෙරිණ. ව්‍යවසායකත්ව කළමනාකරණය, අලෙවිකරණය හා මෙහෙයුම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, හරිත ව්‍යාපාර පිළිවෙත් සහ ව්‍යාපාර ප්‍රවර්ගයන් හඳුන්වා දෙමින් ව්‍යවසායකයන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධානතම අරමුණු වන අතර මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වීම විශේෂිතය.
මෙම සමාරම්භක වැඩසටහනට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) ශාලිකා ලිඳකුඹුර මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ නලින් බණ්ඩාර මහතා, නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ඩී.ජී.නන්දන බණ්ඩාර මහතා, බැංකු නියෝජිතයින්, දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.









