හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙමින් පසුගිය 15 වන දා යෙදුණු තෛපොංගල් දිනය සිහිපත් කරමින් අද (20) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවත්විණි.
පිරිසුදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍යය සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි. අස්වැන්න නෙලීමේ මංගල්‍යය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ පළමු සති තුන තුළ පැවැත් වේ.
කෝලම් රටා අදිමින්, සුවිශේෂි පොංගල් බත සකස් කෙරෙමින් , දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා පූජා පවත්වමින් තෛපොංගල් උත්සවය අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිංදු කෝවිලේ දි පැවැත් වු අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.













