செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය අභිනව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්. මහත්මිය රාජකාරි අරඹයි
==============================

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ අභිනව දිස්ත්‍රික් ලේකම් / දිසාපති වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය රාජකාරි ආරම්භ කිරීම ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද (11) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

නුවරඑළිය දිස්‍ත්‍රික් ලේකම් / දිසාපති වශයෙන් පත්වීමට පෙර තුෂාරි තෙන්නකෝන් මහත්මිය කටයුතු කරන ලද්දේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් (පාරිපාලන) වශයෙනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උද්භිත විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හිමිකරගෙන ඇති තුෂාරි තෙන්නකෝන් මහත්මිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් හිමිකරගෙන තිබේ.

2003 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය 2004 වර්ෂයේ සිය පළමු පත්වීම ලෙස මාතලේ සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන් රාජකාරි ආරම්භ කර තිබේ.

තේන්නකෝන් මහත්මිය හාරිස්පත්තුව සහකාර ප්‍රාදේශිය ලේකම්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම් වශයෙන් ද කටයුතු කරන ලදි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක (පාලන), නියෝජය අධ්‍යක්ෂක (පාලන), අධ්‍යක්ෂක (ආයතන), අධ්‍යක්ෂක (පරිපාලන) යන තනතුරු දරා ඇති තේන්නකෝන් මහත්මිය උඩ පළාත ප්‍රාදේශිය ලේකම් ලෙසද කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, , නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිකා කවිසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීන්, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -නුවරඑළිය.

WhatsApp Image 2025 02 11 at 16.35.53